අමෙරිකාවට ඉරානය සමග තිබෙන ඇත්තම ප්රශ්නය මොකක්ද?
එය කිසිසේත්ම ඊනියා ඉස්ලාම් අන්තවාදයක් හෝ න්යෂ්ටික අවියක් ගැන ප්රශ්නයක් නොවෙයි.
ඒ වෙනුවට ඉරානයේ විද්යාත්මක ජයග්රහණ, නවීන තාක්ෂණය, කාර්මීකරණය, දියුණු අධ්යාපන ක්රමය, සෑම දෙයක්ම රට තුළ නිපදවා ගත හැකි දියුණු නිෂ්පාදන ආර්ථිකය, කිසිදු ආක්රමණයකින් සපුරා විනාශ නොවූ ඓතිහාසික පර්සියානු සංස්කෘතික උරුමය…
අමෙරිකාවට ඇත්තටම ප්රශ්න තිබෙන්නේ මේ දේවල් සමඟ මිස වෙනත් කිසිවක් සමඟ නොවෙයි.
මේ සියල්ල ඉරානය දිනාගත්තේ නිකම් නොවෙයි.
ඒ ජයග්රහණවලට පදනම වැටුණේ 1979 දක්වා එරට පැවති බටහිර රූකඩයෙකු වූ ෂා රජුගේ පාලනය අවසන් කොට ඉරානය තමන්ගේ රටේ තෙල් ඇතුළු වටිනා සම්පත් තමන්ට අවශ්ය විදිහට හැසිරවීමට පටන් ගැනීමෙන් පසුවයි.
මේ සියලු ජයග්රහණ ඔවුන් ලබාගත්තේ අමෙරිකාව ප්රමුඛ බටහිර රටවල න්යාය පත්රයන්ට යටත් නොවී බොහෝ බාධක අභියෝග මැද ස්වාධීනව නැගී සිටීමේ ප්රතිඵලක් ලෙසයි.
එසේ නොවුණා නම් ඉරානයට සිදුවන්නේත් සෞදි අරාබිය ඇතුළු බොහෝ මැදපෙරදිග රටවල ඇති ආකාරයේ The One-Trick Pony එහෙම නැත්නම් එක පිම්මේ පෝනියා පන්නයේ ආර්ථිකයකට සීමා වීමට පමණයි.
තෙල් විකිණීමෙන් මහා ධනස්කන්ධයක් ලැබුණත් බොහෝ මැදපෙරදිග රටවල දියුණු නිෂ්පාදන ආර්ථිකයක් නෑ. පර්යේෂණ, අධ්යාපනය, විද්යාව, තාක්ෂණය ආදිය දියුණු නැහැ. ඔවුන් කම්කරුවාගේ සිට විශේෂඥයා දක්වා සියලු ශ්රමිකයන් ගෙන්වන්නේ පිටරටින්. සර්කස් එකක ඉන්න එක පිම්මක් දන්න පෝනියා වගේ තෙල් විකිණීම හැර ඔවුන් දන්නා වෙනත් දෙයක් නැහැ.
හැබැයි ඉරානය මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ව ස්වාධීන ගමනක් යමින් ජයග්රහණ පිට ජයග්රහණ ලබා තිබෙනවා.
බටහිරයන්ට අවනත නොවූ ගඩාෆි, සදාම් හුසේන් වැනි පාලකයන්ට අත් වූ ඉරණම ගැන හොඳින් දන්නා ඉරානය කල් තියාම ඒ තර්ජනයට මුහුණ දීමට හොඳින්ම සූදානම්ව හිටියා.
ගඩාෆි අවසාන කාලයේ බටහිර රටවල් සමඟ එකඟතාවලට එළඹෙමින්, ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වෙමින් බටහිරයන් ඉදිරියේ තමන් හොඳ ළමයෙකු බව පෙන්වන්න ගියා. හැබැයි එහි ප්රතිඵලය වුණේ වසර කීපයක් ඇතුළත ලිබියාව සම්පූර්ණ අපායක් බවට පත් කොට ගඩාෆිව ඉතා තිරස්චීන ලෙස ඝාතනයට ලක් කිරීමයි.
හැබැයි ඉරානය මේ සියලු දේවල්වලින් පාඩම් ඉගෙන ගත්තා. ඒ නිසා තමයි ඉරානය පරාජය කිරීම හිතන තරම් පහසු නොවන බව අද ලෝකයටම පිළිගැනීමට සිදුවී තිබෙන්නේ.
මේ තත්ත්වය තුළ ඉරාන විදේශ අමාත්යවරයා පසුගිය දිනක කළ ඉහත ප්රකාශය ඉතාම වැදගත්. ඔහු එහිදි ඍජුවම අමෙරිකානු ආධිපත්යය ප්රශ්න කරමින් ඉරානය කළ යුතු දේ ගැන තීරණ ගැනීමට කිසිවෙකුට නොහැකි බව පැහැදිලිව පවසනවා.
එය හුදු උදම් ඇනීමක් පමණක් නොවෙයි. නොබියව එවැනි ප්රකාශයක් කළ හැකි භෞතික පසුබිමක් ඔවුන් මේ වන විට තම රට තුළ ගොඩනංවාගෙන අවසානයි.
අමෙරිකාව ඉරානයට කළ පහරදීමෙන් සිදුවූයේ මෙතෙක් ලෝක ආධිපත්ය පිළිබඳ පැවති පින්තූරය වෙනස් වෙමින් ඉරානය නව ලෝක බලවතෙකු ලෙස ස්ථාපිත වීම පමණයි. එය මෙතෙක් පැවැති ලෝක බල තුලනයේ බෙදුම් රේඛා අලුත් කිරීමක්.
බටහිර රටවල් ඉරානයට අන්තවාදී ලේබලයක් අලවා ඇත්තේම ඔවුන්ගේ ස්වාධීන නැගිටීම දරා සිටිය නොහැකි වීම නිසා මිස සැබෑ අන්තවාදී ප්රශ්නයක් නිසා නොවෙයි.
එසේ වුවද ඉස්ලාම් අන්තවාදය ලෝකයෙන් තුරන් කිරීම සඳහා අමෙරිකාව ඉරානයට පහර දුන්නාය වැනි ළාමක තර්කවල ගිලී සිටින ලංකාවේ බොහෝ අයට මේ මහා පින්තූරය ගැන කිසිදු අදහසක් නැහැ.
සුද්දෙක් කන බොන මලපහ කරන විදිහ ගැන පවා කවි ගී ලියමින් තමන්ගේ රටට අවමන් කරන, රටේ ආගමට සංස්කෘතියට පහරදීමෙන් විද්යාව දියුණු වේ යැයි සිතන, අයිඑම්එෆ් වන්දනාව හා නව ලිබරල් කුණු කන්දල් ඔස්සේ ආර්ථිකය හැදිය හැකි යැයි සිතන, යටත්විජිත වහල්භාවයේ පතුලේ ගිලී සිටින ලංකාවේ ඇතැම් අයට ඉරාන ජනතාවගේ අදීන මනස තේරුම් ගැනීමටවත් බැහැ.
හැබැයි පසුගිය කාලයේ වේගයෙන් පෙළ ගැහුණු සිදුවීම් මාලාව සමග ඉරානය කියන්නේ අපේ සමහරු සිතූ තරම් සරල සිල්ලර රටක් නොවන බව අද ඔවුන් ලෝකයට පෙන්වා දී තිබෙනවා.
ඇත්තෙන්ම මෙවැනි අභීත ප්රකාශයක් කළ හැකි විදේශ ඇමතිවරයෙකු බිහිවන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස් හා ස්වාධීන රටක පමණයි.
එය දිගු කාලීන කැපකිරීම් පරිත්යාගයන් සහිත දුෂ්කර සටනකින් ලද ජයග්රහණයක් මිස කිසිසේත්ම තනි පුද්ගලයෙකුගේ පුරසාරම් දෙඩීමක් නොවෙයි.
– ඉසුරු ප්රසංග



