ලෝකයක් වෙනස් කර, ණයකරුවකුව මියගිය ‘චාල්ස් ගුඩ්ඉයර්’

👉 මේ පින්තූරේ ඔබට පේන්නේ අද මේ ලෝකේ ජීවත් වන ඔබ මම ඇතුළු හැමෝම ප්රයෝජන ලබන සුවිශේෂී මනුස්සයෙක්. හැබැයි ඔහු කළ වැඩවලින් ඔහුගේ ජීවිතයට කිසිම ප්රයෝජනයක් ලැබී නැහැ.

👉 ඇත්තටම මේ ලෝකේ ඉන්න සෑම මිනිසෙක්ම ඔහුට ණය ගැතියි. හැබැයි ඔහු තමන්ගේ ණය තුරුස් ගෙවාගන්න බැරුව හිරේ ගිය කෙනෙක්.

👉 ඔහු ලෝකයේ සෑම මිනිසෙක්ම ප්රයෝජන ලබන සුවිශේෂී නව සොයාගැනීමක් කරපු කෙනෙක්. හැබැයි ඔහු විද්යාඥයෙක් හෝ උගතෙක් නෙමෙයි පොඩි පොඩි ව්යාපාර කරගෙන ජීවත් වුණු සාමාන්ය මනුස්සයෙක්.

👉 මේ අපූරු පුද්ගලයාගේ නම මුලින්ම මම දැක්කේ පුංචි කාලේ පාරේ යද්දි ගහලා තිබුනු ටයර් ගැන දැන්වීම්වල. ඒ නම තමයි ගුඩ්ඉයර්. හැබැයි ඒක පුද්ගල නාමයක් බව මම ඒ කාලේ දැනගෙන හිටියේ නෑ.

👉 ගුඩ්ඉයර් කියන්නේ අද දැවැන්ත ටයර් සමාගමක නමක් වුණාට ඒක ඉස්සර ඇමරිකාවේ ජීවත් වුනු පුද්ගලයෙකුගේ නමක්.

👉 ඔහුගේ සම්පූර්ණ නම චාල්ස් ගුඩ්ඉයර්. අදින් අවුරුදු 225කට කලින් වර්ෂ 1800 තමයි ඔහු ඉපදුණේ. එතකොට ඔහු කළ සොයාගැනීම රබර් සම්බන්ධ සොයාගැනීමක්.

👉 අද කෘත්රිම රබර් තිබුණාට මේ කාලය වෙන කොට ස්වභාවික රබර් තමයි මිනිස්සු පාවිච්චි කළේ. එතකොට මේ ස්වභාවික රබර්වලින් භාණ්ඩ හැදුවාම ඒවා අව්වට උණු වීම, සීතලට ඇකිලීම, තෙමුනාම දුඟද හැමීම වගේ විවිධ ප්රශ්න මතුවෙනවා.

👉 ඉතින් මේ චාල්ස් ගුඩ්ඉයර්ට මේ රබර් ප්රශ්නෙට විසදුමක් හෙවීමේ ලොකු උනන්දුවක් ඇති වෙනවා. ඒ අනුව ඔහු ඒකට අවුරුදු ගාණක් තිස්සේ අතේ තියන සල්ලි වියදම් කර කර, අනිත් වැඩ සේරම පැත්තක දාලා ඒ ගැන පර්යේෂණ කරනවා. ඒවා නැවත නැවත අසාර්ථක වෙනවා. මේ මොන පිස්සු වැඩක්ද කරන්නේ කියලා ඔහු හැමෝගෙන්ම බැනුම් අහනවා. ඒවාට වැය කරපු කාලය සහ මුදල් නිසා ඔහුගේ ආර්ථික මට්ටම සෑහෙන පහළ වැටෙනවා. තමන්ගේ ණය ගෙවාගන්න බැරුව සිරගත වෙන්න පවා ඔහුට සිද්ධ වෙනවා.

👉 හැබැයි ඒ සියලු බාධා කරදර දුක් ගැහැට මැද රබර්වලට සල්ෆර් එකතු කරමින් රබර් වල්කනයිස් කිරීමේ ක්රමවේදය මුලින්ම ලෝකයට ඉදිරිපත් කරන්න ඔහු සමත් වෙනවා. ගුඩ්ඉයර් එක කළේ 1839 අවුරුද්දේ.

👉 1844 වෙද්දි මේ අලුත් සොයාගැනීමට අදාළ පේටන්ට් බලපත්රයත් ගන්න චාල්ස් ගුඩ්ඉයර්ට පුලුවන් වෙනවා. ඒ සොයාගැනීම ලෝකයේ මහා පෙරළියකට හේතුවක් වෙනවා.

👉 හැබැයි එහෙම වුණාට ඔහුට තිබුණු නඩුහබ නීති ප්රශ්න වගේ විවිධ ගැටලු නිසා මේ නිෂ්පාදනය හරහා මුදල් උපයන්න ඔහුට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අවුරුදු හැටක් ජීවත් වෙලා 1860 දී ඔහු මරණයට පත් වන තුරුම ඔහු ජීවත් වුණේ දුක් කරදර කන්දරාවක් මැද. මැරෙන තුරුම ඔහු අතේ සත පහක් නැති දුප්පතෙක්.

👉 එතකොට ඔය ගුඩ්ඉයර් කියන්නේ 1898 අවුරුද්දේ ආරම්භ කරපු ලෝක ප්රකට අමෙරිකානු ටයර් හා රබර් නිෂ්පාදන සමාගමක්. ඔවුන් ගුඩ්ඉයර්ට කළ ගරු කිරීමක් විදිහට තමයි සමාගම ඔහුගේ නමින් නම් කරන්නේ. හැබැයි මේ සමාගම පටන්ගත්තේ ඔහු මැරිලා අවුරුදු තිස් අටකට පස්සේ.

👉 අද ලෝකේ රබර් නැති කිසිම තැනක් නෑ. රබර් පටිය, මකන කෑල්ල, සෙරෙප්පු දෙක, මොබයිල් ෆෝන් එක, ටයර් එක වගේ දේවල්වල ඉදලා අභ්යාවකාශ යානා දක්වා හැම දෙයක්ම හදන්න රබර් ඕන. ඒ කියන්නේ ලෝකේ හැම මිනිහෙක්ම චාල්ස් ගුඩ්ඉයර්ගේ සොයාගැනීමෙන් තාමත් ප්රයෝජන ලබනවා.

👉 එතකොට චාල්ස් ගුඩ්ඉයර් කළ සොයාගැනීම නිසා වෙච්ච තවත් දෙයක් තමයි වාහන නිෂ්පාදනයේ ඇතිවූ දැවැන්ත පෙරළිය.

👉 ගුඩ්ඉයර් ජීවත් වුණ කාලේ වෙද්දි ලෝකේ තිබුණේ කරත්ත, බයිසිකල්, සහ ස්ටී්රම් කාර් කියලා හඳුන්වපු නොදියුණු මට්ටමේ වාහන විතරයි. ඒවායේ රෝද හදලා තිබුණේ යකඩ හෝ ලී වගේ දේවල්වලින්. සමහරු මේවායේ ගැස්සීම් අවම කරන්න රබර් ආවරණ භාවිතා කළා.

👉 එතකොට චාල්ස් ගුඩ්ඉයර් රබර් වල්කනයිස් කිරීම හොයාගැනීමෙන් පසු කාලයේ තමයි ලෝකේ වාහන හැදෙන්න ගත්තේ.

👉 එතකොට ලෝකේ මුලින්ම හුළං පුරවන්න පුළුවන් ටයර් හැදුවෙත් ගුඩ්ඉයර් කරපු සොයාගැනීමෙන් පස්සේ. ජෝන් ඩන්ලොප් තමයි 1888 අවුරුද්දේ මේ වැඩේ සාර්ථකව කරපු කෙනා. එයා මුලින්ම මේ ටයර් භාවිතා කළේ බයිසිකල්වලට.

👉 ඒ කාලෙම තමයි ජර්මනියේ කාල් බෙන්ස් විසින් මුල්ම මෝටර් රථ වෙළෙඳපළට නිකුත් කරන්නේ. මේක වුණෙත් 1888 අවුරුද්දේ.

👉 ඊටත් පස්සේ හෙන්රි ෆෝඩ් තමයි කාර් මහා පරිමාණයෙන් නිපදවලා වෙළෙඳපළට නිකුත් කිරීම පටන් ගත්තේ. ඔහු ෆෝඩ් කම්පැනිය පටන්ගන්නේ 1903. ඒකෙන් පස්සේ මෝටර් රථ කර්මාන්තයේ මහා පෙරළියක් සිද්ධ වුණා.

👉 කොහොම වුණත් මේ හැමදේකම වර්ධනයට ප්රධාන හේතුව වුණේ චාල්ස් ගුඩ්ඉයර්ගේ සොයාගැනීම. ඊට පස්සේ ඩන්ලොප්, මිචලින්, පයර් ස්ටෝන්, ගුඩ්ඉයර් වගේ මහා පරිමාණයෙන් ටයර් නිපදවන සමාගම් ආරම්භ වෙනවා.

👉 ගුඩ්ඉයර්ගේ මරණින් අවුරුදු තිස් අටකට පස්සේ තමයි ඔහුගේ නමින්ම අලුත් ටයර් සමාගමක් ආරම්භ වුණේ.

👉 හැබැයි ඒ සේරටම මුල් වුණ පුද්ගලයා ඒ කිසි දෙයක් ඇසින් දකින්නවත් වාසනාව නැතුව දුප්පතෙක් විදිහට මරණයට පත්වෙනවා.

👉 මේක හරිම පුදුමාකාර වගේම කනගාටුදායක කතාවක්. අපි කැමති වුණත් නැතත් ඒ විදිහට තමයි සමහර ශ්රේෂ්ඨ මිනිස්සුන්ගේ ඉරණම ඉතිහාසය තුළ ලියැවිලා තියෙන්නේ. ගුඩ්ඉයර් කියන්නේ ඒ අතර එක් කෙනෙක් විතරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top